Subscribe:

Social Icons

නිවැරැදිව නිල උද්දීපනය නොකළොත් අනිසි ප්‍රතිඵල ඇතිවන්න පුළුවන්

ෆේෂල් සත්කාරයෙන් සම නිරෝගී වනවාක් මෙන්ම පැහැපත් බවක් සහ දීප්තිමත් බවක් ද සමට ලැබෙනවා. මෙහිදී සම පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට අමතරව දෙවනුව සිදුවන සම්බාහනය ඉතාමත් වැදගත් කොට සැලකිය යුතුයි. එය කෙසේ විය යුතුද? සම්බාහනය නිල උද්දීපනය වැදගත් වෙන්නේ ඇයි?


සම්බාහන ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් එය නියමාකාරයෙන් කළ යුතුයි. එසේ නො වුණහොත් ෆේෂල් එකකදී ලැබෙන ප්‍රතිඵලවලට වඩා අනිසි ප්‍රතිඵල ලැබීමට ඉඩ කඩ ඇත. එසේ කියන්නේ වැරැදි විදිහට සම්බාහන ක්‍රියාවලිය කළහොත් මුහුණේ මාංසපේශීන්ට අහිතකර බලපෑම් ගෙනදිය හැකි නිසයි. මුහුණට අයත් වෙන්නේ අප ශරීරයේ සියුම් සහ තුනීම මාංසපේශීන් බව අමතක නොකළ යුතුයි. එම නිසා ෆේෂල් කිරීමේදී දැඩි ලෙස සමට තට්ටු කිරීම, ඇදීම, ගැසීම නොකළ යුතුයි. එමෙන්ම දැඩි ලෙස වාෂ්පයට ඇල්ලීම, සැර ආලේපන භාවිතය ආදී මේ කිසිවක් නොකළ යුතුයි. සම්බාහන ක්‍රියාවලිය කළ යුත්තේ ඉතා සියුම් ලෙස සහ නිවැරැදි ආකාරයටයි. මෙහිදී මාංස පේශීන්ගේ පිහිටීම අනුව හා නිල පිහිටි තැන් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි.
සම්බාහන ක්‍රියාවෙන් අප බලාපොරොත්තු වන ප්‍රධානම දේ නම් රුධිර ගමන වැඩිවී සම පෝෂණය කිරීමයි. සමක් පෝෂණය වන පහසුම දේ ආහාරයයි. සම්බාහන ක්‍රියාවලියෙන් ග්‍රන්ථීන් උද්දීපනය, ස්නායු උද්දීපනය හා විවේකයක් ඇති කරයි. මේ නිසා ෆේෂල් එකක් කරන විට වැඩි දෙනකුට නිදිබර ගතියක් ඇති වෙයි. එමෙන්ම දැඩි මානසික සුවයක් ඇති කරයි. ෆේෂල් එකක දී මානසික සුවය සහ සමේ තත්ත්වය සුරැකීම යන දෙකම එකවර අපට ලැබෙයි. එමෙන්ම මාංසපේශීන්ගේ තත්ත්වය සුරැකෙයි.
තරුණ කෙනෙක් ෆේෂල් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ තිබෙන සම රැක ගැනීමයි. වයසට ගිය කෙනෙක් තරුණ පෙනුම ලබා ගැනීම සඳහා ෆේෂල් කරයි. දුර්වල හා පහත් වූ මාංසපේශීන් යථා තත්ත්වයට ගෙන ඒමට ෆේෂල් උපකාරී වෙයි. එනම් මෙහිදී සිදුවෙන්නේ වයසට ගියත් තරුණ පෙනුම රැකීමයි. තවද වයසට යන විට ඇතිවන රැලි අඩුකර වයසට යාමේ පෙනුම අඩු කරයි. තරුණකම රැකදී තරුණ පෙනුමක් ලබාදෙයි.
සමේ වැරැදි ඇත්නම් උදා: දැඩි ලෙස සමේ තෙල් හෝ වියළි බවක් ඇතිවේ. පැල්ලම් ඇත්නම්, දුර්වර්ණ වූ සමක් ඇත්නම් තමන්ගේ සම තවත් සුදුකර ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා ද ෆේෂල් කිරීම සුදුසුය.
මෙම සම්බාහන ක්‍රියාවලියේදී තවත් වැදගත්ම දෙයක් සිදුකළ යුතුමයි. එනම් නිල උද්දීපනය කිරීමයි. නිල උද්දීපනය කිරීමේ දී එක නිලයක් තත්ත්පර 30 ක් පමණ උද්දීපනය කළ යුතුයි. එමෙන්ම උද්දීපනයට පෙර මුහුණ හොඳින් පිරිසුදුකර ගැනීම වැදගත්. ෆේෂල් එකකදී නිල උද්දීපනය සිදුවෙන්නේ සම්බාහන ක්‍රියාවලියට පසුවයි. එවිට මනස සන්සුන්ව පවතින අවස්ථාවක් විය යුතුයි.
මුහුණේ නිල පහළොවක් පමණ ඇත. උඩ සිට පහළට මෙම නිල උද්දීපනය කිරීමේ දී එම ස්ථානය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එක් එක් නිලයෙන් එක් එක් වාසි සැලසෙයි.
එම නිසා නිල 15 ම පිහිටි තැන් දැන උද්දීපනය කිරීම ෆේෂල් එකකින් ලැබෙන ප්‍රයෝජන සර්ව සම්පූර්ණ කරයි. මනස පිරිසිදුකර සම පිරිසිදු කරයි. මනස ප්‍රබෝධවත් කරයි.
තවත් නිලයක් මුහුණට ප්‍රාණවත් බවක් ලබාදෙයි. කල්පනා ශක්තිය වැඩි දියුණු කරයි. ඇස යට නිලය ටොක්සින් ඉවත්කර මුහුණේ පැල්ලම් නැති කරයි.
එමෙන්ම පැහැදිලි සමක් ලබාදෙයි. කම්මුල් උඩ නිලයෙන් සම කාන්තිමත්කර අඳුරු පැහැය ඉවත් කරයි. නාසය උඩ නිලයෙන් සමේ පැහැය එක පැහැයකට ගෙනෙයි. එනම් මේක්අප් එකක් කළ ආකාරයට මුහුණ පිළිබිඹු වේ.
තොල උඩ නිලයෙන් පහත් වූ පේශීන් යථා තත්ත්වයට පත් කරයි. තොලයට නිලයෙන් සම පිරිසුදුකර මනහර සමක් ලබාදෙයි. නිකට යට නිලයෙන් සමේ ටොක්සින් ඉවත්කර සම කාන්තිමත් කරයි. කන ළඟ නිලය උද්දීපනයෙන් ලිංගික ග්‍රන්ථින්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරකියි. එවිට කාන්තාවකට තරුණකම මෙන්ම මුහුණට අපූර්වතම දීප්තියක් ගෙන දෙයි.
කම්මුල දෙපස උද්දීපනය කිරීමෙන් වයසට ගිය සමක එල්ලා වැටීම අඩුකරයි.
එවිට වයසට යාමේ පෙනුම අඩුකර තරුණ පෙනුමක් ලබාදෙයි. නළලේ නිල උද්දීපනය කිරීමෙන් සිත සන්සුන්කර මතක ශක්තිය වැඩිකරන අතර කනස්සල්ල පිළිබිඹු කරන රේඛා අවම කරයි. මුහුණට ශාන්ත පෙනුමක් ලබා දෙයි.
කන් දෙක ළඟ නිලය උද්දීපනයෙන් සමේ වියළි බව අඩුකර මුහුණේ පේශීන් ශක්තිමත් කරයි. තවද බෙල්ල ළඟ නිලය උද්දීපනය කිරීමෙන් ශරීරයට අවශ්‍ය නියමිත බර ලබාදෙන අතර සමේ හොඳ තත්ත්වය සුරකියි.
මේ ආකාරයට බලන විට ෆේෂල් එකක් කිරීමේදී නිල උද්දීපනය ඉතා වැදගත් බව ඔබට වැටහෙන්නට ඇත.
සාමාන්‍ය සම්බාහන ක්‍රියාවලියට වඩා එහාට ගිය නිල උද්දීපන ක්‍රියාවලියක් එක්කර ගැනීමෙන් ෆේෂල් එකක් සර්ව සම්පූර්ණ වනු නො අනුමානයි. කිසි විටෙකත් නිවැරැදි දැනුමකින් පුහුණුවකින් තොරව නිල උද්දීපනය කිරීමට යාමෙන් වැළකෙන්න.
මේ සඳහා හොඳ දැනුවත් බවකින් යුතුවීම අනිවාර්යයි. නිසි දැනුවත් බවකින් යුතුව කරනවා නම් මෙමඟින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව ඉහත දැක්වූ කරුණුවලින් ඔබට වැටහෙන්නට ඇති.
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ස්වීනීතා කොතලාවල
සැලෝන් ස්වීනී
  උපුටාගැනිම - තරුණි පුවත්පත

 
Blogger Templates