Subscribe:

Social Icons

මොබයිල් එකයි අත දරුවයි අරගෙන බණ අහන්න යන්න එපා










නමෝ තස්ස භගවතෝ අරහතෝසම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සාදු... සාදු... සාදු... බුද්ධ – ධම්ම - සංඝ පූර්ණ වූ මේ වස් තුන් මාසේ දහමට ළැදි දහමේ වටිනාකමඅවබෝධ කරගත් පින්වතුන්ට මේ විදිහට අමතන්න ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා.
පින්වතුනේ, මේ පැය විසි හතරම බණ ඇහෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. වෙනත් කිසිම ආගමක මේ විදිහට ධර්මය ප්‍රචාරය වෙන්නේ නැතුව ඇති. ඒත් පින්වතුනේ පැය විසි හතර පුරාම බණ ඇහුවත් ඒවා හිතට ගන්න පින්වතුන් කී දෙනෙක්ද ඇත්තේ? මගේ මතකයට එනවා අපූරු ගී පද මාලාවක්. “බුදු බණ ඇසුවත් නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ”
මේක ඇත්ත නේද...? අපි කොච්චර නම් බණ අහනවාද...? මේ ජීවිතේ අපි කී වතාවක් බණ අහලා තියෙනවාද? ඒත් මේතාක් කාලයක් අහපු බණවලින් සියයට විස්සක්වත් අපි අපේ ජීවිතවලට අරන් තියෙනවාද? එහෙම අරන් තිබුණා නම් අපිට මෙහෙම වෙනවද? පින්වතුනේ... අනවබෝධයෙන් මිස අවබෝධයෙන් නම් අපි බණ අහලා නෑ වගේ. හිතෙන්නේ නැද්ද ඒ මිඩංගු කරපු කාලයත් අපරාදේ කියලා?
හුඟ දෙනෙක් කරන්නම් වාලේ වැඩ කරන්නේ. එහා ගෙදර උපාසක අම්මා බණ අහන්න යනවා නම් මෙහා ගෙදර අම්මත් උපාසක නොවුණත් ඒ පිටු පස්සේ යනවා. මොකද එහෙම නො ගියොත් වැරැදි විදිහට හිතයි කියලා. පින්වතුනේ... කවුද රැවටෙන්නේ... කාවද ඔබ රවටන්නේ... කෙනෙක් මල් පහන් පුජා කළා කියලා... බණ අහනවා කියලා හැඟීමකින් තොරව ඔබත් ඒ දේම කරනවාද? වැඩක් නැහැ පින්වතුනේ ලොවුතුරු බුදු පියාණන්ගේ ධර්මය හදවතට ගෙන අදහගන්න ඕනා ධර්මයක්.
බුදුන්ට පුදන්න මලක් ගහකින් කඩන වෙලාවේත් සිහිපත් කරන්න ඕනේ බුදු ගුණමයි. ඉතිං බුදුන් වදාළ ඒ බණ ටික අහනකොට අපි කොයිතරම් එය ඇඟට ගත යුතුද? සිත – කය සංවර කරගෙන මොනතරම් ධර්ම ගෞරවයකින් බණ ටික අහන්න ඕනෙද? රැල්ලට දුවලා ඔබ නිරපරාදේ පවු රැස් කරගන්නවා පින්වතුනේ... මට විශේෂයෙන්ම ඔබට අද කියන්න ඕනේ මේ කාරණාවමයි. මොකද හුඟාක් දෙනෙක් නොදැනයි මේ පාපය ජීවිතයට අරගන්නේ.
දැන් බලන්න මම අනන්තවත් දැකලා තියෙනවා පුංචි දූ දරුවෝ වඩාගෙන පන්සලට බණ අහන්න එන අම්මලා. ඇත්තටම මේ තරුණ අම්මලා පහන් හැඟීමෙන් දහමට ළං වෙනවා ඇති. චුටි දරුවෙක් හිටියත් ඔබ කැමැති ඇති අනේ කොහොම හරි පන්සලට ගිහින් මේ බණ ටික අහන්න ඕනේ කියලා. ඔබේ මේ පින් සිත ගැන හරිම සතුටුයි.
නමුත් අම්මේ ඔබ නොදකින පැත්තක්... අපි දකිනවා. ඔබ නොහිතන පැත්තක් ගැන අපිට හැඟෙනවා. දැන් බලන්න දරු පැටවු වඩාගෙන ගිහින් ඔබ බණ අහන්න සුදානම් වෙනවා. ඔබ එක විදිහට හිටියත් ඔබේ දරු පැටියාට එහෙම ඉන්න පුළුවන්ද? බැහැනේ අම්මේ... පොඩි දරුවන්ට විනාඩි දහයකට වඩා එක තැනක එක විදිහකට ඉන්න බැහැ. ඉතිං චුටි දරුවා එහාට දඟලනවා. මෙහාට දඟලනවා. අම්මාගේ ඇෙඟන් අදිනවා. බණ කියන තැන එහාට දුවනවා... මෙහාට දුවනවා... එවිට බණ අහන කී දෙනෙකුගේ අවධානය බිඳිලා යනවාද? බණ අහගෙන උන්නත් හුඟාක් අයගේ ඇස් දරුවා දිහාවමනේ.
ඇත්තටම නොකීවට හැමෝම හිතින් හරි බණිනවා. මේ නිසා දරුවන් අරන් බණ අහන්න යන්න කලින් මේ ගැන හිතන්න. දරුවන් නළවගන්න පුළුවන් නම් විතරක් පිරිසක් සමඟ ඉඳගෙන බණ අහන්න. බැරිනම් ගෙදරට වී ඉන්න පවු පුරවා ගන්නේ නැතිව. උතුම් බුදු බණ අහන සිතක් ඇහිපිල්ලමක් ගහන ඇසිල්ලකින් හරි බිඳී යාම විශාල පාපයක් පින්වතුනේ. ඉතිං හිතන්න ඔබේ දරු පැටියා කොච්චර නම් දඟලනවාද? දරු පැටියාට නෙමේ පාපය දරුවා අරන් යන ඔබටයි. අම්මේ.... ඔබ බණ අහන්න කැමැති නම් ගෙදර ඉඳන් සී.ඩී. පටියකින් අහන්න පුළුවන්. එෆ් එම් චැනල්වල පාන්දර ඉඳලා රෑ වෙනතුරු බණ යනවා. දරුවො පුංචි කාලේ මෙහෙම තමා බණ අහන්න වෙන්නේ. ඔබ තුළ මේ පරිත්‍යාගය තිබිය යුතුයි අම්මේ.
පින්වතුනේ අනිත් දේ තමා මේ මොබයිල් ෆෝන් එකත් අර පුංචි දරුවා වගේම තමා. අඬන්න සුදුසු ද නැද්ද කියලා හිතන්නේ නෑ. ෆෝන් බබාලා අඬන්න ගත්තම දෙදරුම් දෙනවා. මොකද ඇතැම් ෆෝන් රිං වෙනකොට කානිවල් එකක් වගේ සද්දේ.... අනේ පින්වතුනේ හරි ආදරයෙන් ඔබට මේ කියන්නේ. පන්සලට යන්න කලින් බණ ටික අහන්න කලින් ෆෝන් එක සයිලන්ස් දාගන්න. මම නම් කැමැතියි බණ අහන්න එද්දී ෆෝන් එක ගෙදර තියලා එනවා නම්, මොකද බණ කියද්දී සයිලන්ස් දැම්මත් ඔබ කතා කරද්දි හඬ ඇහෙනවානේ. බණ අහන පින් සිතක අවධානය බිඳීන එක හරිම පවු.
ඉතිං පින්වතුන් මේ කී දේවල් ජීවිතයට අරගන්න. බුද්ධ ශාසනයක් තියෙන කාලේ බණ පදයක් අහන්න ලැබීමම පුදුමාකාර පිනක්. දවසින් දවස මිනිසුන්ගේ උදාර සිතිවිලි ජරා ජීර්ණ වෙලා යනවා. කොතරම් බණ ඇහුවත් අහන බණ ක්‍රියාත්මක නොවීම පාපයක්ම තමා. බලන්න මේ පුංචි රටේ මේ තරමට වැඩිහිටි නිවාස ඉදිවෙන්නේ ඇයි? දරුවෝ ඉඳලත් වැඩිහිටියන්ට සලකන්නේ නෑ. මොකද ඇතිවෙනතුරු බණ ඇහුවා ඒ මොහොතට පමණයි. මේ නිසා සිහි කල්පනාවෙන් බණ අහන්න. බණ අහද්දී කරදර කරන්න එපා කාටවත්ම. හරියට බණ ඇහුවොත් තමා හරි හමන් ජීවිතයක් ගත කරන්න ඔබට පුළුවන් වෙන්නේ. එහෙම නැතිව තව කෙනකුට හිරිහැරයක් වෙන විදිහට තව කෙනකුගේ අවධානය බිඳී යන විදිහට කොතරම් බණ ඇහුවත් වැඩක් නෑ. මේ උතුම් ධර්මය ඔබට හොඳින් අවබෝධ වේවා! ඔබ සැමට තුණුරුවන් සරණයි.
ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද උතුම් දහම් පඬුරක්
උපුටා ගැනිම - තරුණි පුවත්පත

 
Blogger Templates