Subscribe:

Social Icons

පෙම්වතියක් වෙන්න තවම ඉක්මන් වැඩියි - සජනා වනිගසූරිය

සහජයෙන් රැගෙන ආ දක්ෂතා රැසකින් පරිපූර්ණ රූමත් තරුණියක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්. නමින් සජනා වනිගසූරිය. මෙවර රිවිසරසි කතාබහට අපි ඇයව එකතු කරගත්තා.
මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
පාඩම් වැඩ නිසා ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ.

කලා ක්‍ෂේත්‍රයට එකතුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ?
රංගනයට එකතුවෙන්නෙ ‘අහසින් වැටුණා’
ටෙලිනාට්‍යයෙන්. නිවේදනයට සම්බන්ධ වෙන්නෙ නෙළුම් විල වැඩසටහනෙන්. නර්තනයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නෙ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හරහා.

පසුගියදා  ලැබුණු සම්මානය ගැන මතක් කළොත්?
ඒ සම්මානය ලැබුණේ දෙරණ නාලිකාවේ  විකාශය වුණ ‘අග්නි’ ටෙලි නාට්‍යයට. ඒ සඳහා 2014 වර්ෂයේ නැගී එන නිළියට සම්මානය ලැබුණේ මට. ඉතින් මට ඒ සම්මානය ලැබිම ගැන තියෙන්නෙ නිහතමානී සතුටක්.

සම්මාන බලා‍පොරොත්තුවෙන්ද සජනා නිර්මාණ තෝරාබේරා ගන්නෙ?
එහෙම නෑ. ඒත් මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය දෙකටම සම්මාන ලැබුණා. මේ දවස්වල අධ්‍යාපනයට මුල්තැන දීලා කටයුතු කරන නිසා කලාවෙන් තාවකාලිකව සමුගන්න තීරණය කළා.

ඒ තීරණය ගැන දුකක් නැද්ද?
ලොකු දුකක් තියෙනවා. මගේ ප්‍රධාන අරමුණ වෛද්‍යවරියක්  වීම නිසා කාලය කියන දේ මට ගොඩක් වටිනවා.

වෛද්‍ය වෘත්තියට පිවිසීමෙන් පසුවත් කලාවට  එකතුවෙන්න අදහසක් නැද්ද?
මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙන්න තව වසර තුන හතරක් තියෙනවා. ඊට පස්සෙ හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

සහජයෙන් කලාව උරුම වුනත් වෛද්‍ය වෘත්තිය තෝරගත්තෙ අම්මා වෛද්‍යවරියක් නිසාද?
ඔව්. මගේ අම්මා අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන විදිය මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම දැක්කා. ඒ නිසා මමත් වෛද්‍ය  වෘත්තිය තෝරගත්තා. කලාවෙන් වගේම වෛද්‍ය වෘත්තියෙනුත්  කරන්නෙ මිනිස්සුන්ගෙ හිත සුවපත් කරන එක.කලාවට මුල්ම අඩිතාලම වැටෙන්නෙ හපන් පැදුර  වැඩසටහන  නිසා. ඒ ගැන මතකය අවදි කළොත්.මගේ අම්මගේ වුවමනාවට තමයි හපන් පැදුරට අයැදුම්පත්‍රයක් යොමු කළේ. ඒ වැඩසටහනට  ජැක්සන් ඇන්තනී මාමා මාව තෝරගත්තා. වසර 12 ක් ගෙවුණත්  අදටත් ඒ ගැන තියෙන මතකය හරිම සුන්දරයි.

අද ඒ වගේ හරවත් ළමා වැඩසටහන්  රූපවාහිනියෙන් ඈත් වෙලා නේද?
ඔව්. එදා හපන්පැදුර  වගේම ගොඩක් හොඳ රූපවාහිනී  වැඩසටහන් විකාශය වුණා. කාලයත් එක්ක  ඒ වැඩසටහන් නැතිවෙලා අද රියැලිටි වැඩසටහන් එකතු වෙලා තියෙනවා. මම හිතන්නෙ කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියලා.

හපන් පැදුරෙ මිතුරු මිතුරියන් තාමත් මුණගැහෙනවාද?
හැම වෙ‍ලේම අපි මුණගැහුණේ නැතත් ඉඳහිට  දුරකථනයෙන් කතාබහ  කරනවා. එදා වගේම ඒ බැඳීම් තාමත් තියෙනවා.

හපන් පැදුර වඩසටහනට  ඔබ එකතු වෙන්නෙ ගීත ගායනයෙන්. ගායනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා සිංදුවක් කරන්න කියලා. මගේ අම්මත් ඒ ගැන කැමැත්තෙන් ඉන්නෙ. ඒත් තාම මම ඒ ගැන හිතලා නෑ.

පෞද්ගලික විස්තර ගැන කතා කළොත්?
මගේ අම්මා නිලානි වනිගසූරිය. ඇය වෛද්‍යවරියක්. තාත්තා අනුර වනිගසූරිය. ඔහු රබර්  පර්යේෂණ ආයතනයේ සේවය කරනවා. මගේ අයියා සජීව් වනිගසූරිය. ඔහු මට වඩා වැඩිමල් විනාඩි 03 කටයි. ඔහුත් වෛද්‍ය ශිෂ්‍යයෙක්.

තාරුණ්‍යයේ පසුවන සුන්දර තරුණියක් විදියට ආදරය ගැන මොකද හිතන්නෙ?
ආදරය සුන්දර දෙයක්. තමන්ට හරියට ගැලපෙන කෙනා ලැබුණොත් ඒ ආදරය ගොඩක් සුන්දර වෙනවා.

ඒ කෙනා ලැබිලද ඉන්නෙ?
මට හරියන කෙනා තවම මුණගැහිලා  නෑ. මම හිතන්නෙ  තාම පෙම්වතියක් වෙන්න කාලය නෙමේ කියලා.

මොනවගේ කෙනෙක්ටද සජනා කැමැත්තෙන් ඉන්නෙ?
සුරා සූදුවෙන් තොර, උපරිම හොඳ ගතිගුණ තියෙන පවු‍ලේ හැමෝම ගැන හොයලා බලන  කඩවසම් පිරිමි ළමයෙක්ට තමයි කැමති.

රංගන ක්‍ෂේත්‍රයෙන් යෝජනා ලැබිලා නැද්ද?
එහෙම යෝජනා ඇවිත් නෑ. මොකද මම හරිම සමගියෙන් හැමෝම ආශ්‍රය කරනවා. ඒකයි.

තිළිණි මධුවන්ති



උපුටා ගැනිම රිවිර පුවත්පත


 
Blogger Templates