Subscribe:

Social Icons

විවාහ උත්සවයක වැදගත්ම අවස්ථාවට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි

මේ නැකැත් මාසවල මංගල උත්සවයන්ගෙන් නම් අඩුවක් නැහැ. මටත් එවැනි ආරාධනා රැසක්ම ලැබුණා. ඒ අතර මනාලිය බාර දෙන අවස්ථාවේදී කතා කරන්නටත් සිදුවුණා. මීරිගම ප්‍රදේශයේ මා දන්න හඳුනන දියණියකගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ලැබු මේ අත්දැකිම තුළ නම් සමාජයට කිව යුතුම පණිවුඩයක් තිබෙන බව වැටහුණා.
මේ මංගල්‍යයේ හෝම් කමිං එකට දෙපාර්ශවයේම නෑදෑ හිත මිතුරන් තුන් හාර සියයක් විතර සහභාගී වුණා. විශාල මුදලක් වැයකර තිබු උත්සවයක් බව එතැන හිටිය ඕනෙ කෙනෙක්ට වැටහුණා. මනාල යුවළ පොල්තෙල්පහන් පත්තුකර කේක් කපා නෑදෑ හිත මිතුරන් සමඟ ෂැමිපේන් පානය කොට ඔන්න සතුටු සාදය පටන් ගත්තා. හැමෝම කනවා බොනවා එකම රස ගුලාවක්... රාත්‍රී 11.45 වෙනකල්ම කාල වේලාව ගත වුණා කියලා දැනුණේම නැහැ. මේ අතර තරුණ තරුණියන් වෙනමම ලෝකෙක නටන්න ගත්තා. තවත් සමහරු බමන මතින් මත් වෙලා. සාදය නවත්වා ගන්න බැරි තරමටම දිග් ගැසුණා. අවසානයේදී වැඩිහිටියන් කිහිප දෙනකුගේ මැදිහත් වීමෙන් නැටුම් ගැයුම් නවතා මනාලිය බාරදීමේ අවස්ථාවට යොමු වුණා. හරියටම හිතලා බැලුවොත් විවාහ උත්සවයක වැදගත්ම උත්තරීතරම මොහොත මෙය විය හැකියි. දැන් පැමිණ ඇත්තේ මගේ කතා වාරයයි. උත්සවයේ බමන මතින් වැනෙන, නිදි කිරන පිරිසක් ඉදිරියේ මොන කතාබහක්ද? මා විවාහය ගැන එහි අරුත් පිළිබඳ ආදරය ගැන කතා කළා.
ඒත් එතැන සිටි කාන්තාවන් කීප දෙනෙක් හැරෙන්නට ඒ කතාව කිසිවකුට වැදගත් නොවු බව ඔවුන්ගේ මුහුණුවලින් පෙනි ගියා. අඩු තරමේ මනාල ජෝඩුවටත් ඒ ඔවදන් හිතට ගන්න බැරි තරම් විඩාබරවයි හිටියේ. මේ අත්දැකීම ඇත්තෙන්ම අලුත විවාහ ජීවිතයට පත්වන සියල්ලන්ටම පණිවුඩයක් දිය යුතු අවස්ථාවක් ලෙසයි මා දකින්නේ.
ඇත්තෙන්ම අද තරුණ තරුණියන් බොහෝ දෙනෙක් විවාහයේ සැබෑ වටිනාකම, වගකීම් යුතුකම් කියන දේ දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඇතැම් විට හෝ යම් තරමකවත් අවබෝධයක් ලැබෙන්නේ විවාහ මංගල්‍යයක මනාලිය බාරදිමේදී කරන මේ කතාවෙන්. ඒ තරමටම මේ මොහොත හැගුම්බරයි.
ඒත් අද නොසලකාම හරින්නේ මේ වටිනා අවස්ථාවම තමයි.
මම නම් දකින විදිහට මනාල යුවළ දෙවැනි දවසේ උත්සවයට පැමිණි විගසින් කේක් කපා චාරිත්‍ර ඉටුකොට පළමුව කළ යුත්තේ මනාලිය බාර දීමේ කටයුත්තයි. මට එසේ හැඟෙන්නේ මෙවැනි වැදගත් අවස්ථාවක් උත්සවය අවසානයට යොදා ගැනීමේ දී එය කිසිවකුට නොවටිනා අවස්ථාවක් වන බැවිනි.
අනෙක මේ කර්තව්‍ය බාරගත් විශේෂිත පුද්ගලයා ද ඇතැම් විට මංගල්‍යයේ සෙසු පිරිස සමඟ කා බී විනෝද වීමෙන් ඔහුගේ කතාවේ ද හරවත් ගුණවත් බව ගිලිහී යනු ඇත.
මේ කොයි පැත්තත් සිතා විවාහ උත්සවයේ ඇතැම් සම්මත සම්ප්‍රදායන් වෙනස් විය යුතුයි සිතේ. ඒ අනුව මනාලිය මනාලයාගේ පාර්ශවයට බාර දීම වැනි අතිශයින්ම වැදගත් කාරණා සඳහා මුල් තැන දීම ඉතා වැදගත්... කන බොන නටන විනෝද වන දේ ගැන ඉන් අනතුරුව හිතා බලන්නේ නම් වටී. පසුව එළිවනතුරු විනෝද වූවත් වරදක් නැත.
අදහස - ප්‍රවීණ ධනාත්මක චින්තක හා දේශක ලාල් ෆොන්සේකා
උපුටා ගැනිම තරැණි පුවත් පත
 
Blogger Templates